WhatsApp වෙනුවට මිලියන ගණන් පරිශීලකයන් Telegram හා Signal වැනි සේවාවන් වෙත යොමු වෙමින් සිටින බව නවතම දත්ත මඟින් හෙළි වෙයි

 

ලොව පුරා අතිශය ජනප්‍රිය හා වැඩිම පිරිසක් භාවිතා කරන WhatsApp සේවාව විසින් පෙබරවාරි 8 වන දා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත අලුත්ම terms and conditions පිළිබඳව අපි TechNews.LK පාඨක ඔබව මීට පෙර දැනුවත් කළ අතර මේ වන විට මේ සම්බන්ධයෙන් ලොව පුරා අතිවිශාල කතාබහක් ඇති වී තිබෙනවා.

මේ වන විට ලොව බොහෝ දෙනකු WhatsApp හි මෙම නවතම තීරණයට විරෝධය පළ කරමින් සිටින අතර, ඔවුන් WhatsApp වෙතින් ඉවත්ව SignalTelegram වැනි වෙනත් විකල්පයන් වෙත පිවිසෙන්නට කටයුතු කරමින් සිටින බව දැනගන්නට ලැබෙනවා.

මේ අතර ලොව ධනවත්ම ව්‍යවසායකයා වන Elon Musk විසින් පවා " Use Signal" යන කෙටි සටහන Twitter ඔස්සේ සටහන් කිරීමත් සමඟ එයට අති විශාල ප්‍රතිචාර මේ වන විට ලැබෙමින් තිබෙන අතර එම සටහන මේ වන විටත් විශාල පිරිසක් විසින් Share කිරීමටද කටයුතු කර තිබෙනවා.

මේ අතර මෙලෙස පැමිණෙන නව පරිශීලකයින් log in වීමට උත්සාහ කිරීමත් සමඟම ඔවුන් සියල්ලටම නිසි පරිදි vacation code එක ලබා දීමේ ගැටලුවකට signal සේවාව මේ වන විට මුහුණ දී තිබෙන බවත් දැනගන්නට ලැබෙනවා.

Signal ආයතනයේ official Twitter account එකේ ඔවුන් විසින් මේ බව සදහන් කර තිබෙන අතර, අදාළ රටවල ජාල සැපයුම්කරුවන් සමග එක් වී එම ගැටළුවට ඉතා ඉක්මනින්ම විසඳුම් ලබාදීමට කටයුතු කරමින් සිටින බව ඔවුන් එම පණිවිඩයෙන් දන්වා සිටිනවා.

කොහොම උනත් Elon Musk මහතා විසින් සිය Twitter සටහනේ WhatsApp සම්බන්ධයෙන් කිසිදු සඳහනක් කර නැති නමුත් ඔහුගේ පණිවිඩය තුළ WhatsApp හි මෙම නව තීරණයට දක්වන ලද අප්‍රසාදයක් ගැබ්වී තිබෙන බව අනුමාන කල හැකියි.

 

මීට අමතරව පසුගිය පැය 72ක කාලය ඇතුලත Telegram සේවාව වෙත නව පරිශීලකයින් මිලියන 25ක් එකතු වී ඇති අතර ඒ සමඟින් Telegram සේවාව සමඟින් සිටින active පරිශීලකයින් ප්‍රමාණය මිලියන 500 ඉක්මවාගොස් ඇති බව ද ඔවුන් වාර්තා කරනවා.