Android 12 සංස්කරණයේ පළමුවැනි Developer Preview එක නිකුත් කිරීමට Google සමාගම කටයුතු කරයි

 

Android ජංගම දුරකථන නිෂ්පාදක ඉන්න බහුතරයක් තවමත් Android 11 හෝ සිය සුදුසුකම් ලත් Devices වලට ලබා දී ලබා දී අවසන් වී නැති පසුබිමක් තුළ, Google සමාගම විසින් මේ වන විටත් Android 12 හි Development කටයුතු ආරම්භ කර තිබෙන බව ඔබ දැනටමත් දන්නවා ඇති.

මේ වන විට මෙහි පළමුවැනි Developer preview සංස්කරණය නිකුත් කිරීමට Google සමාගම කටයුතු කර ඇති අතර, මෙම සංස්කරණයේ මූලික අරමුණ වන්නේ developer වරුන් හට තමන්ගේ apps අලුත් Android මෙහෙයුම් පද්ධතියේ හඳුන්වාදෙන API සමඟින් අත්හදාබැලීමේ හැකියාව ලබාදීමයි.

‍මේ අනුව Pixel ජංගම දුරකථන වලට සහ Android Emulator එක සඳහා අදාල වන system images දැනටමත් නිකුත් කර ඇති නමුත් මෙය තවමත් මූලික අදියරෙහි තිබෙන සංස්කරණයක් වන බැවින්, ඔබ එදිනෙදා භාවිතා කරන ජංගම දුරකථනයට මෙය ස්ථාපනය කිරීමෙන් වලකින ලෙස Google සමාගම මතක් කර සිටිනවා.

එමෙන්ම Android 12 වල විවිධ සංස්කරණ මීළඟට නිකුත් වීමට නියමිත කාළසීමාව පිළිබඳව timeline එකක් ද ඔවුන්ගේ නිළ blog අඩවිය හරහා පළ කිරීමට කටයුතු කර තිබෙනවා.


මේ ආකාරයේ Developer preview සංස්කරණ තුනකින් පසුව මැයි මාසයේදී පළමුවැනි beta release එක සිදු කරනු ඇති අතර, beta සංස්කරණ තුනක් නිකුත් කිරීමෙන් අනතුරුව release candidate සංස්කරණය අගෝස්තු මාසයේ මුල් භාගයේදී නිකුත් කරනු ලබනවා. ඉන් අනතුරුව අවසානයේදී stable සංස්කරණය නිකුත් කිරීමට සැළසුම් කර තිබෙනවා.


Android 10 සිට Android මෙහෙයුම් පද්ධති, අතුරුපස වල නම් වලින් නම් වලින් හැඳින්වීම අත්හැර දැමීමට Google සමාගම කටයුතු කළ නමුත්, ඒ සඳහා internal codename එකක් ලබාදීමට මොවුන් කටයුතු කරනු ලබනවා.

ඒ අනුව Android 10, Quince Tart ලෙසත් Android 11, Red Velvet Cake ලෙසත් නම් කරන ලද අතර, ඉදිරියේදී නිකුත් වීමට නියමිත Android 12 සඳහා ලබාදී තිබෙන අතුරුපස නාමය වෙන්නේ "Snow Cone" යන්නයි.

මීට අමතරව, 100% ක් තහවුරු කළ නොහැකි නමුත්, Android 12 එකේ UI එකේ බව දැක්වෙන Screenshots කිහිපයක් පසුගිය සතියේ අන්තර්ජාලයට එකතු වී තිබුණු අතර ඒවාට අනුව Android 11 UI එකට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් UI එකක් Android 12 සමඟින් ලැබීමට නියමිත වෙනවා.